Translate My Page

Wednesday, January 22, 2014

පණ ඇති සතුන් ප්‍රතිමා බවට හරවන අරුම පුදුම විලක්

උතුරු ටැන්සානියාවේ කෙන්යාවේ දේශ සීමාවට ආසන්නව පිහිටි නැට්රෝන් විල අරුම පුදුම විලකි. යම් හෙයකින් එම විලේ ජලයට සතකු හෝ කුරුල්ලකු හෝ ඇද වැටුණොත් උන් ක්ෂණික මරණයට පත්වනවා පමණක් නොව ගලින් තැනුණු පිළිමයක් බවට පත්වන්නේය.
නැට්රෝන් විල පරාදීසයක් සේ දිස්වන නමුත් එය අතිශයින් දරුණු ආගාධයකි. එහි ජලය අධික ලවණ බවකින් යුක්ත වන අතර සමහර අවස්ථාවලදී එහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 140 දක්වා වැඩි වේ. එසේම PH 9 ත් PH 10.5 අතර ක්ෂාරීය ගුණයෙන් යුක්ත වීම මෙම විල තවත් දරුණු ස්ථානයක් බවට පත්කර ඇත.
මෙම විලේ ජල පෝෂණය වන්නේ දකුණු ඉවාසෝ ඇන්ජිරෝ ගංගාවෙනි. ඛනිජ ද්‍රව්‍ය මිශ්‍ර උණු දිය උල්පත්වලින් ද පෝෂණය වන මේ විල අඩි 9.8 ක් ගැඹුරුය. එසේම ජල ක‍ඳේ ප්‍රමාණය අනුව පළල වෙනස් වන්නේය. බොහෝ විට නැට්රෝන් විලේ ජලය දැඩි වාෂ්පි කරණයට භාජනය වීම හේතුවෙන් මිශ්‍ර ලවණ හා නැට්රෝන් නම්වූ ඛනිජ වර්ගයේ මිශ්‍රණයක් මෙම ජලයේ රැඳී ඇත. එසේ ම අඩු වර්ෂාපතනය හේතුකොට ගෙන ඉහත කී තත්ත්වය ඝන දියර තත්ත්වයකට පත්වන්නේය.
නැට්රෝන් විලේ පවතින ලවණමය පරිසරය නිසා එම තත්ත්වයට ගැළපෙන අන්දමේ ක්ෂුද්‍ර ජීවින් මෙහි ඇතිවන අතර එම ක්ෂුද්‍ර ජීවින් රතු පැහැයක් දරන නිසා විලේ ජලය ද රතු පැහැයක් ගෙන ඇත.
සතුන් හා කුරුල්ලන් අල්ලා ගැනීමට සිටින මේ ජල රකුසා පිළිබඳව බොහෝ සත්තු දනිති. බොහෝ සත්තු මේ විල් අවට ප්‍රදේශයේ සැරීම අත්හැර ඇතත් ඒ අවට කූඩු තනාගෙන සිටින ෆ්ලෙමින්ගෝ කුරුල්ලෝ මේ රකුස් විලේ ප්‍රතිමා බවට පත්වෙති.
නැට්රෝන් විලේ පවතින නැට්රෝන් ඇතිවන්නේ සෝඩියම් කාබොනේට් හා සෝඩියම් බයිකාබොනේට් මිශ්‍රණයෙනි. එය සුදු පැහැයෙන් හෝ පැහැයක් රහිත වේ. ඇතැම් විට ලා දුඹුරු හෝ කහ පැහැයක් ද දැකිය හැකි වේ. විලේ ජලය වාෂ්ප වීම හා එම ප්‍රදේශයේ පිහිටි ගිනිකඳු වලින් පිටවෙන අළු සමඟ මිශ්‍ර වීම නිසා නැට්රෝන් විල ප්‍රතිමා තනන කර්මාන්ත ශාලාවක් ලෙස හඳුන්වාලිය හැකිය.



පණැති පිළිරූ බවට පත්වූ පක්ෂීන්
Comment Box is loading comments...