Translate My Page

Tuesday, January 7, 2014

වී ගොවිතැන

වප් මඟුල් කවි

කුඹුරු වැපිරීමට පිළියෙල කිරීමේ  උළෙල සීසෑම නමි. වප් මඟුල කියන්නේත් මෙයයි. කුඹුරු කෙටීමෙන් හෝ හරකුන් ලවා මැඩවීමෙන් හෝ නඟුලෙන් හෑමෙන් හෝ ගොවිතැන සඳහා බිම් සකස් කර ගනිති. ඉක්මන් තාලෙට උදලු හෙළ විට මතු දැක්වෙන කවි කියමින් ගොවියෝ මහන්සිය කාන්සිය දුරු කර ගනිමින් ප්‍රීත වෙති.
 
 
 
 
 
උදයෙන් එක එක – ගෙන කෙටි  උදලු
කුඹුරේ අද්දර – පෙළ සැදී           සිටිලු
එකවර ගන්නා – වදි බිම්             උදලු
දකින දකින අය පිරිය                වඩාලු
 
අයියෝ මන්දැයි ඔහොම             සිටින්නේ
දෙයියෝ දුන් මේ – වරේ          බොලන්නේ
ගොයියෝ ඔහොම ද – වැඩ කර      ගන්නේ
කයියේ තාලෙට – උදලු                ගසන්නේ
 
විඩාව ඇතහොත් – වාඩි                වෙයල්ලා
දොඩා නොයෙක විග – ඩම් නො     කරල්ලා
වඩා ඔහොම මට – උඩ නො           පනිල්ලා
කුඩා උනත් මගේ බස්                  අහපල්ලා
 
පිපාස නම් දිය – වර                       බීපල්ලා
විඩාව නම් සෙව – ණේ               සිටපල්ලා
අව්ලකවත් කඩි – නම්                 කරපල්ලා
පෑලකවත් බිම් – පසු                   කරපල්ලා
 
අහස පොළොව මෙර – ගුගුරන        විලසට
මූද වෙරළ රැළ පෙරළෙන               සැටියට
දිවි මැද ගව රැළ පෙරළෙන             සැටියට 
අපිත් පුරන් කොට – මුව           හනිහනිකට
 
අහසින් දෙවියෝ – සවණ            කරන්ඩයි
පොළොවේ මිහිකත – බිම් බැඳ       ගන්ඩයි
සතරවරම් දෙවි – බලා                  සිටින්ඩයි 
මේ වප් මඟුලෙන් – අප              දිනවන්ඩයි
 
(දැන් ඉතින් උදේට කෑමට (අලුමූසාවට) වේලාව හරි)
 
එළි වී හත් අට – පැය                පසුවෙච්චි
දාඩිය වැටෙනා – තුරු          වෙහෙසෙච්චි
ගෙදරින් පැණි බත් – අපට            ලැබිච්චි
කෑමට යමු අපි – හොහෝ              දිනච්චි
 
කියමින් වැඩ නවතති.
 
මේ එක් එක් කවියෙහි මුල පුරා මුල් දෙපදය අනෙක් සියල්ලෝ කියති. මේ වප් මඟුල බැලීමට කුඹුරු අවට රැස්වී ගොයම් කවි අසා ප්‍රීත වන වුන් අතර පිරිමින් පමණක් නොව ස්ත්‍රීහු ද වෙති. ගොයියෝ අලුමූසාවේ රස බලා නැවත වැඩ කරති. ඒ අතර ගෙවිලියෝ වෑදම ගෙනෙති. මේ දුටු ගොයියෝ කයියේ වැඩ නවත්වන්නේ මෙසේ කියමිනි.
 
ඉර හැරිලා ටික – වේලක් පසු              විය
දැන් දැන් ටික ටික – බඩගිනි ඇති        විය
හො හෝ අපට අර – බත ගෙන        ආවිය
යමුයමු කෑමට – හූවක්                  කියකිය
 
සමුපකාර ක්‍රමය (වැඩ කටයුතුවල දී අන්‍යොතා සම්බන්ධය) පුරාණ කාලයේ සිට ගම්බදව පැවැති බව කුඹුරු වැඩ හේන් වැඩ ආදී නොඑක් ජීවනොපායමාර්ග අපට මතක් කරවයි.
 
 
 
 
 
 
 
කා බී රස බලා මඳ වේලාවක් විවේක ගෙන හයි හත්තිය පෙන්නීමට මෙන් නැවත වැඩ පටන් ගනිති. වෑදම කුඹුරට ළඟා කොට ගොයියනට කවා පොවා සාත්තු සප්පායම් කිරීම ගෙවිලිය අගය කොට සැලකූ බවත් ඉන් ඒ අසල් වැසි පවුල් අවුල් නො වී විශ්වාසය තහවුරු වී දැහැමි දිවි පෙවෙත ගෙන ගිය බවත් අමුතුවෙන් කිවයුත්තක් නොවේ.
 
හවස පුරන් කොටමින් හීන් තාලෙට මේ කවි ද කියති.
 
සෙල ඉසලින් බැස්ස කලට – පෙනේය උළු          මාලිගාව 
බිම්බරකුත් සෙනග ඇවිත් – රුවට කෙරෙව්          මාලිගාව 
රෑ දාවල අඳුර නැතිව – රන් කොත් බැබලෙන           සුබාව 
ලංකාවට තිලක උතුම් – සබරගමුවෙ                   මාලිගාව 
 
කිඹුලන් ගං කඳු අද්දර – යනවා වැනි හරක්                කන්න
මකුණන් දැල් බඳිනා ලෙස – රැවුලත් වඩවඩා             ඉන්න
කුකුළන් තන්ඩිත් කාලා – මහත්වෙලා බැහැ            නටන්න
තකදොම් දොම් කියා නටයි – ලෙබ්බෙගෙ හතිහානි   යන්න
 
දැන් සියල්ලෝ ම මතු දැක්වෙන කවි කියා ඉතා ප්‍රීතියෙන් නිවෙස් කරා යති.
 

අමන සිතක් මට සිදු          නොවෙන්නේ
විමන එගිරි මුදුනේ            වැඩසිටින්නේ
පමන නො වන සිරි අපට       දෙවන්නේ
සුමන සමන් දෙවියෝ          පින්ගන්නේ
 
පතර එඅත් දොළසක්           ඇතිවන්ඩයි
නිතර ම මයුරා පිට               වැඩඉන්ඩයි
එතෙර වෙමින් නිවනට    පැමිණෙන්ඩයි
කතර ගමේ දෙවියෝ           පින්ගන්ඩයි
 
නිතර දහම් මුනි ගුණ ම          කියන්ඩයි
විතර උසට පෙති පිළිම           කරන්ඩයි
අතර තවත් කිසි දුකක්        නොවන්ඩයි
සතර වරම් දෙවියෝ           පින්ගන්ඩයි
 
තුමු ද ඇමැති දහසක් පිරිවරා කෙත්වතට වැද වප් මඟුල් කෙරෙති. එදා ඒ වම් මඟුලෙහි හැම දෙන ම සුදු පිළි හැඳ සුවඳ මලින් සැරහී කෙත්වත් පුරා සිට ගත්හ. ඒ වප් මඟුලෙහි දහසක් පමණ නගුල් එක විට ම යොදන ලදී. එයින් අටතුරාසියක් නගුල් රිදී පතින් විය. ගොන්ගේ අංවල රිදී කුප්පි බහා කර සුදු මල් කළ බැඳ යොදා, සිටුවන ලද. රජ්ජුරුවන් අතට වඩනා නගුල ඝන රන් පතින් වසා මංගල වෘෂභ රාජයන්ගේ අංවල රන් කුප්පි බහා කර රන් වන් මලින් සරහා පිට රන් සැදියෙන් වසා යොදා සිටු වන ලද. ඉක්බිත රජ්ජුරුවන් වමතින් රන් නගුල හා දකුණතින් රන් කැවිට ගෙන සිට ගත් කල අටතුරාසියක් මඟුල් වෙස් ගෙන.
 
සිද්ධාර්ථ කුමාරයාණන්ගේ පියාණන් වූ සුද්ධෝදන රජ්ජුරුවන්ගේ වප් මඟුල නමින් හැඳින් වෙන සීසෑමේ උත්සවයකට සහභාගි වුණු අයුරු “පූජාවලියේ” සඳහන් වූයේ යට දැක්වුණු ලෙසය.
 
ගොවිතැනෙන් රට සුභික්ෂ වනු පමනක් නො ව ආර්ථික තත්ත්වයෙන් ද සභ්‍යත්වයෙන් ද උසස් තැනක් අත්පත් වන අතර සුඛිත මුදිත පුරවැසියන් පහළ වීම ද නො වැළැක්විය හැකි සිද්ධියකි.
 
සියතින් ගොවිතැන් කළ ගැමුණු රජ තෙමේ සිය සොහොවුරු තිස්ස කුමරුන් හා සමඟි වූයේ අප්‍රමාදව ඔවුන් මෙහෙය වූයේ දිගාමඩුල්ලෙහි ගොවිතැන් බත් කරවීමෙහිය.
“සද්ධර්මාලංකාරයෙහි” එන මෙය ද කියවන්න. රජ්ජුරුවෝ ඒ ඒ තැන වැවු අමුණු බඳවා නො පමාව ගොයම් බත් කර වන සේ රාජ්‍ය වාසිනට නියොග කොට තුමු ද උදලු කැති පොරෝ ආදී වූ කර්මාන්තෝකරණ ගෙන්වා ගෙන ගොසින් තමන් සිය අතින් ඇල අමුණු බඳිමින් ඒ ඒ තැන අමුතු ඇල කණිමින් ලියදි තනමින් මියර බඳිමින් මෙසේ ගොයිම් බත් කරවීමෙහි ව්‍යාප්ත වෙති.
 
මේ සියල්ලේ දී ම පුරාණ සිංහලයා වැඩිහිටියන් අමතක නො කළ අතර රටේ පැවැති සම්මතය ගරු කළ බව ද ජන කවියා කීවේ මෙන්න මෙසේය.
 
උදයට පායන ඉරු                   දෙවියන්ටත් 
සවසට පායන සඳ                   දෙවියන්ටත්
අප ඇති දැඩි කළ               දෙමවුපියන්ටත්
වැඳවැඳ පින් දෙමු නිවන්             දකින්ටත් 

No comments:

Post a Comment